
සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව පස් වන ස්ථානයේ සිටින බවට ඇතැම් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවට පිළීතුරු දීමට නම් අපි සියලු දෙනාම සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්රමාණුකූලව අවම කළ යුතුව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කලා ශිල්පියෙකු වන ලලිත් සේනානායක මහතා විසින් වෙරළට ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට සහභාගි වෙමිනි.
සාගරයේ සිට වෙරළට ගසා ගෙන එන ප්ලාස්ටික් හා පොලිතීන් යොදා ගනිමින් මෙම නිර්මාණය ඉදි කර තිබේ. සාගර දූෂණයට බරපතල ලෙස බලපාන ප්ලාස්ටික් හා පොලිතීන් නිසා වාර්ෂිකව අප රටේ මත්ස්‍ය අස්වැන්න පවා ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව අධ්‍යයන මගින් තහවුරු ව තිබේ. ඊට හේතුව මයික්‍රෝප්ලාස්ටික් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මම ධීවර අමාත්‍යවරයා වශයෙන් වසර තුනක් කටයුතු කළා. දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වෙනවා. ඒ සඳහා මම නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වුවා. එපමණක් නොවෙයි. ධීවරයින් විසින් බහු දින ධීවර යාත්‍රා වලින් ධීවර කටයුතු සඳහා නික්ම යනවිට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළා. එමෙන්ම ධීවර වරායෙන් සාගරයට යන විට ඒ ඒ බෝට්ටු විසින් තමන් ගෙන යන ප්ලාස්ටික් භාජන හා පොලිතීන් පිළීබඳ වාර්තාවක් තබා ගන්නවා. ඔවුන් ආපසු එනවිටත් ඒවා ආපසු ගෙන ආ යුතුයි. සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කිරීම මුළුමනින්ම තහනම් කළා.
ලලිත් සේනානායක මහතා විසින් කර ඇති මෙම නිර්මාණය අගය කළ යුතුයි. එතුමාට මේ අදහස දී තිබෙන්නේ එතුමාගේ කුඩා දියණිය විසින්. අපේ කුඩා දරු පරපුර පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම නම් වැඩිහිටියන් ඔවුන්ට ආදර්ශමත් ලෙස ජීවත් විය යුතුයි. නමුත් අපේ රටේ වැඩිහිටි පරම්පරාව අද අපේ පරිසරයට කරන විනාශය දුටු විට අපි සැබවින්ම ලැජ්ජා විය යුතුයි.
ලලිත් සේනානායක මහතා ප්ලාස්ටික් හා පොලිතීන්වලින් පරිසරයට සිදුවන හානිය ගැන මෙම නිර්මාණයෙන් පෙන්වා දී තිබෙනවා. පරිසර අමාත්‍යවරයා වශයෙන් මම අද පැමිණීයේ එතුමා විසින් කළ මෙහෙවරට ගරු කිරීමක් වශයෙන්.
හැමෝම අහන ප්‍රශ්නයක් තමයි රට වටේ මුහුද. ඒත් බතක් පිගානට බෙදා ගන්න මාළු කෑල්ලක් ගන්න බෑ ගිනි ගණන් කියළා. 1980 දී අපේ වාර්ෂික මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ 03ක්. නමුත් 2018 වනවිට එය ටොන් 53,000 දක්වා අඩු වුනා. මත්ස්‍ය අස්වැන්න අඩුවීමට බලපාන ලද ප්‍රධාන හේතුවක් තමයි සාගර ජලයට එකතු වන මයික්‍රො ප්ලාස්ටික් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම.
අනිත් කාරණය තමයි අපේ රටේ දකුණු දිග පිහිටි සාගරයේ ජලයෙන් පරීක්ෂාවට ලක් කරන ලද ජල සාම්පල 60කින් සියයට 70ක් මයික්‍රො ප්ලාස්ටික් සහිත බව තහවුරු වුනා. මෙම තත්ත්වය සාගරයට පමණක් නොවෙයි පසටත් පොදුයි. අපේ රටේ පස්වල ඇති මයික්‍රො ප්ලාස්ටික් ප්‍රමාණයත් ඇතැම් ප්‍රදේශවල ඉහළ මට්ටමක පවතිනවා. මේ පොලිතින් හා ප්ලාස්ටික් ගැටළුව සම්බන්ධව විසඳුම් ලබා දීමට නම් අපි හැමෝටම වගකීමක් තියෙනවා යැයිද අමාත්‍යවරයා කීය.
ලලිත් සේනානායක මහතා මේ නිර්මාණය තුළින් කර තිබෙන ප්රකාශනය මම දකින්නේ මිහිතලයේ ඛේදවාචකයක් ලෙසයි. අපේ රටේ වන අලින් ගෙන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පොලිතීන් ආහාරයට ගැනීම නිසා මරණයට පත් වෙනවා. යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.
අමාත්‍යවරයා විසින් ලලිත් සේනානයක මහතාට සිංහ තිළිණයක් ප්රදානය කරනු ලැබීය.