
ආනයන සීමා ලිහිල් කරමින් ටයිල් ආනයනය සඳහා අවසර දීමට ඊයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරු ඇතුළු කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
ටයිල් ආනයනකරුවන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි එම සාකච්ජාව සිදුකර ඇත්තේ.
වාර්තා වන පරිදි සාකච්ජාව ඉතා සාර්ථක වී තිබෙන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.
මේ වන විට ආණ්ඩුව විසින් ආනයන සීමා කිරීමට ගෙන ඇති තීරණය සමඟ ආනයනකරුවන් විශාල වශයෙන් දුෂ්කරතාවට පත්ව සිටින අතර එම ආනයන සීමා කළ වේගයට දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක නොවන පසුබිමක දේශීය කර්මාන්ත හිස ඔසවන තෙක් පාලනයක් සහිතව ආනයන සීමා ලිහිල් කළ යුතු බවට යෝජනාවක් ආණ්ඩුව පාර්ශවයෙන්ම ඉදිරිපත් ඇත.
ඒ අනුව එම ආනයන සීමා ලිහිල් කිරීම සඳහා ඇති අවකාශය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ආණ්ඩුවේ ඉහළම මට්ටමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලැබී ඇති බවද වාර්තා විය.
මෙහිදී ආනයන සීමා ලිහිල් කරමින් තිරසාර හා සාධාරණ ලෙස එය පවත්වා ගැනීම අරමුණු කරන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේය.
එහෙත් මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින්නේ මෙම ආනයන සීමා ලිහිල් කිරීම සඳහා ආණ්ඩුව පාර්ශවයෙන්ම විරෝධයක් මතුව තිබීමයි.
එම විරෝධය මතුව තිබෙන්නේ මෙම ආනයන සීමා ලිහිල් කිරීමේ සම්බන්ධ තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් නොවන අතර ඊට මැදිහත්කරුවන් වී සිටින අය අතර පවත්නා පෞද්ගලික නොහොදකම් බව සඳහන්.
රටේ වැදගත් ආර්ථික කාරණයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් සැලසුමක් සහිතව ආර්ථිකයට බලපාන ආකාරයට තීන්දු තීරණ ගැනීම හැර එය පෞද්ගලික හොඳ නොහොඳකම් මත තීරණය කරන්නේ නම් එය සමස්තයක් ලෙස බලපාන්නේ රටට වන හෙයින් එවැනි බාධා කිරීම් පිළිගත හැකිද යන්න ප්‍රශ්න කිරීමට සිදුව තිබේ.